ඩෙංගු පිළිබඳව ඔබ දැනුවත් ද?

ඩෙංගු රෝගය යනු කුමක් ද?

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීරගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතුවුවහොත් එය

  • සාමාන්‍ය සුළු උණ තත්ත්වය
  • ඩෙංගු උණ (Dengue Fever - DF)
  • ඩෙංගු රක්තපාත උණ (Dengue Haemorrhagic Fever - DHF)
  • අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්)

ඩෙංගු බෝ වන්නේ කෙසේ ද?

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුලට වෛරසය ඇතුළු වන්නේ ඩෙංගු වෛරසය ශරීරගතවූ පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙනි.

how to attack dengue

ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහට ද?

ආසාදිත ඩෙංගු මදුරුවෙකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක් පවතී. තවද පුද්ගලයෙකුගේ වයස, ප්‍රතිශක්තීකරණය හා ඩෙංගු වෛරසයේ ප්‍රභේද (Serotype) මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකිය.

උණ රෝගය සෑදුනු විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?

ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්තපාත උණ  (DHF) වැනි අවදානම් අවස්ථා වලට ද පත්විය හැකිය. මෙම අවදානම් අවස්ථා මුල් අවධියේ දී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීමට අපහසු වේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මනින් සුව වන අතර අවදානම් අවස්ථා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්ථා ඉක්මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වේ.

ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණ ද?

උණ සමග පහත රෝග ලක්ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කළ යුතුය.

  • හිසරදය හා ඇස් යට වේදනාව
  • මස්පිඩු හා සන්ධි වේදනාව
  • ඔක්කාරය සහ වමනය
  • සමෙහි රතු පැහැ ලප හට ගැනීම
  • රුධිර වහන තත්ත්වයන්

ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම අවශ්‍ය වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.

ඩෙංගු රෝගය නිශ්චය කරගන්නේ කෙසේ ද?

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමය (උදා: ඩෙංගු රක්තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ) ඒ සඳහා උණ සෑදී දින 02ට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC - Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතවී ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවන් මගින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්තපාත උණ (DHF) වෙන්කර හදුනා ගත නොහැකිය.

ඩෙංගු රෝගය කිහිප වරක් සෑදිය හැකි ද?

ඩෙංගු වෛරසයට ප්‍රභේද 4ක් ඇත. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇතිවන්නේ එම අදාළ ප්‍රභේදයට පමණක් බැවින් ඔහුට නැවත අනෙකුත් ප්‍රභේද මගින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේ දී එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්ථාවේ ) වැඩිවේ.

ඩෙංගු උණ වැළඳුන විට නිවසේ දී ප්‍රතිකාර කළ හැකි ද?

ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. එබැවින් හොදින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 02 කට පසුව FBC පරීක්ෂාව කොට රෝගියා රෝහල් ගතකල යුතු ද යන්න තීරණය කරනු ඇත. එම  FBC පරීක්ෂාව සාමාන්‍ය වුවත් පසුදින නැවත වරක් එය සිදුකල යුතුය.

ඩෙංගු රක්තපාත උණ (DHF) යනු කුමක් ද?

ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි අවදානම් අවස්ථාවකි. උණත් සමග ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු නොවේ. එහි දී උණ බැස යාමත් සමග ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනී වලින් පිටතට (විශේෂයෙන් පෙනහළු ප්ලූරා පටල අතරට/ උදර කුහරයට) ප්ලාස්මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3වන දින හෝ ඊට පසුව සිදුවන අතර දිනපතා කරන රුධිරය පරීක්ෂා (FBC) වල වෙනස්කම් මඟින් හඳුනාගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්මාව කාන්දු වීම මඟින් කම්පන අවස්ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවදානම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.

ඩෙංගු අවදානම් ලක්ෂණ මොනවා ද?

  • උදරයේ ඇතිවන තද වේදනාව
  • නොනවත්වා වමනය පැවතීම
  • අධික නිදිමත බව/ නොසන්සුන් බව/ අප්‍රාණික බන
  • රුධිර වහනය වීම (විදුරුමසෙන්, නාසයෙන් දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළ පහවීම)
  • පැය 06ට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම.

උණ ඇති විට කුමක් කළ යුතු ද?

  • වෙහෙසකර කටයුතු වලින් බැහැර වී හොඳින් විවේක ගන්න.
  • උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් (Paracetamol) ඖෂධය ලබා දෙන්න (උපරිම මාත්‍රාව 60mg/ kg/ 24h වේ) තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය තැවීම සිදු කරන්න.
  • වේදනා නාශක ඖෂධ / Non Steroidal Anti Inflammatory Drugs (NSAID's) කාණ්ඩයේ ඖෂධ හා ස්ටීරොයිඩ් (Steroids) භාවිතයෙන් වලකින්න.
  • සැහැල්ලු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න.
  • උණ පවතින කාලය තුළදී මදුරුවන් දෂ්ට කිරීමෙන් හැකිතාක් වලක්වා ගන්න.

උණ සහිත කාලය තුළ භාවිතා කළ යුතු ආහාර මොනවාද?

  • උණ හා වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න. (තැඹිලි වතුර, කැඳ, කිරි, ජීවනී වැනි මුඛසජලන පානය (Oral Rehydration Solution - ORS) පළතුරු යුෂ වඩාත් සුදුසුය.
  • ළමුන්ට ග්ලූකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබා දෙන්න.
  • රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණයක් බැගින් අර්ධ ඝන සැහැල්ලු ආහාර වේල් කීපයක් ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න.
  • අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් (රතු/ දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළ පහ) හඳුනා ගැනීමට අපහසු වන බැවින් රතු/ දුඹුරු පැහැ  ආහාර හා දියර වර්ග ගැනීමෙන් වළකින්න.

අවධානම් ලක්ෂණ නොමැති වුව ද රෝහල් ගතවිය යුතු පුද්ගලයින් කවුරුන් ද?

  • ගර්භනී මවුවරුන්
  • අවුරුදු 1 ට අඩු දරුවන්
  • අධිබර සහිත රෝගීන්
  • වැඩිහිටි පුද්ගලයින්
  • නිදන්ගත රෝග සහිත පුද්ගලයින්

උණ අවධියේ දී NSAID's භාවිතා නොකළ යුත්තේ ඇයි?

NSAID's

  • Aspirin (ඇස්ප්‍රින්) - අඩංගු ඖෂධ
  • Diclofenac Sodium (ඩික්ලොෆෙනැක් සෝඩියම්)
  • Mefanamic Acid (මෙෆෙනමික් ඇසිඩ්)
  • Ibuprofenn (ඉබියුප්‍රොෆෙන්)

ඉහත NSAID's කාණ්ඩයේ ඖෂධ සහ ස්ටිරොයිඩ් (Steroids) භාවිතයෙන් උණ සහ ඇඟපත වේදනාව අඩු වුවත් එමගින් ඩෙංගු රෝගයේ බරපතල සංකූලතා ඇතිවිය හැක. තව ද, රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්න ඇතිවන නිසා රෝගය උත්සන්න වී ශරීරය අභ්‍යන්තරය තුළ අධික ලෙස රුධිර වහනය විය හැක.

ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා මොනවා ද?

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථා වලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මන්‍ය වීම. මොළයට සිදුවන බලපෑම් වැනි සංකූලතා ඇති වී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය

ඩෙංගු රෝගය ඇති විට මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් ආරක්ෂා වියයුතු වන්නේ ඇයි?

මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුල කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මෙම බීජෞෂණ සමය දින 3 - 4 අතර කාලයක් පවතී. ඉන්පසුව ඇතිවන්නේ උණ අවධිය වන අතර එය දින 2 - 10 අතර කාලයක් පවතී. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවෙකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළුවන අතර එමගින් වෙනත් පුද්ගලයින් තුලට වෛරසය ඇතුළු වී රෝගය පැතිරිය හැකිය.

ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිද?

සාමාන්‍යයෙන් ඊඩිස් මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක් යන තුරු ද, සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙර ද වැඩිපුර දෂ්ට කිරිම සිදුකරයි. එබැවින් මෙම කාලය තුළ දෂ්ටන වලින් ආරක්ෂා විය යුතුයි.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මොනවාද?

මිනිස් ක්‍රියාකාරකම් වලින් ඇති වූ Dengue preventionඉවතලන ප්ලාස්ටික්, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියළි පොල් කෝම්බ හා වැහි පීලි වැනි ජලය රැඳෙන ස්ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි. තව ද, බ්‍රෝමිලියා, අන්නාසි පත්‍ර අතර ද, ගස් බෙන වැනි ස්වාභාවිකව ජලය රැඳෙන ස්ථාන වල ද ඩෙංගු මදුරුවන් බෝවේ. වැඩිහිටි මදුරුවන් නිවසින් පිටත මෙන්ම නිවෙස් ඇතුළත අඳුරු ස්ථාන වල ද රැඳී සිටිය හැකිය.

මදුරුවන්ගේ දෂ්ට වීමෙන් වැළකෙන්නේ කෙසේ ද?

  • අත් පා හොඳින් ආවරණය වන ඇඳුම් අදින්න.
  • මදුරු දැලක් යට විවේකීව සිටින්න.
  • මදුරු විකර්ශක භාවිතා කරන්න (උදා: පැඟිරි තෙල් හෝ කෘතීම විකර්ෂක)

ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වන්නේ කෙසේ ද? Dengue preventionDengue prevention 1

  • භාවිතා කළ හැකි ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්ක්‍රීකරණය කරන්න. අනෙකුත් බඳුන් මදුරුවන් බෝ නොවන ලෙස විනාශ කරන්න
  • වැහිපීලි වල හිර වී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කරන්න වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න.
  • වතුර එක්රැස් වන ස්ථාන ලිං සහ ටැංකි වලට මදුරුවන්ට ඇතුල්විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කරන්න.
  • නිරන්තරයෙන් සතියකට වරක් ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරන්න.

ඩෙංගු රෝගය මර්දනය සඳහා ගාල්ල මහා නගර සභාවේ ක්‍රියාකාරීත්වය

ගාල්ල ප්‍රදේශයේ ඩෙංගු රෝගය ව්‍යාප්තිය මර්දනය සඳහා ගාල්ලdengue prevention මහා නගර සභාව මගින් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර ගාල්ල මහා නගර සභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම හරහා ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම්, ශ්‍රමදාන කටයුතු, අත් පත්‍රිකා බෙදා හැරීම්, දුමායනය කිරිම් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන් මගින් ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වියහැකි ස්ථාන හඳුනාගනිමින් එවැනි ස්ථාන විනාශ කිරීමත් ඩෙංගු මදුරුවන් පැතිරීමට හැකි පරිදි අපිරිසිදු ස්ථාන පවත්වාගෙන යන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් ඩෙංගු මර්දනය සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් සකස් කිරීමත් සිදු කෙරිණි.

ඩෙංගු මර්දනය පිළිබඳව විශේෂ සාකච්ඡාවdengue prevention

ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහන

දකුණු පළාත් ඩෙංගු මර්දන වැඩසටහන

dengue prevention

 

dengue prevention

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ හා ගාල්ල මහා නගර සභාවේ පණිවිඩයකි